හැඳින්වීම

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ බටහිර හා උතුර දිශාභිමුඛව පිහිටා ඇති අකුරැස්ස ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සොබාදාහමේ සොදුරු චමත්කාරය දනවන උස් කදු මුදුන්,කඳුවැටි,වනයෙන් හා දියදහාරාවන්ගෙන් යුක්ත ග්‍රාම නිළධාරී වසම් 46 කින් සමන්විත ප්‍රදේශයකි. අකුරැස්ස ප්‍රාදේශීය සභාව උතුරින් පිටබැද්දර නැගෙනහිරින් අතුරලිය, බටහිරින් ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල සහ දකුණින් මාලිම්බඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලින් මායිම්ව පිහිටා ඇත.

වර්ග කි.මී.149 ක භූමි ප්‍රමාණයකින් යුක්ත අකුරැස්ස ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මුළු පවුල් සංඛ්‍යාව 16243 කි. මුළු ජනගහනයෙන් 97.7% ක් සිංහල ද 2.2% දමිළ ද වේ. ආගමික වශයෙන් මුළු ජනගහනයෙන් 97.7% බෞද්ධයන් වන අතර හින්දු භක්තිකයන් ප්‍රමාණය 1.4% වේ.

කොට්ඨාශයේ නැගෙනහිර මායිම ඔස්සේ නිල්වලා නදිය ගලා බසින අතර නැගෙනහිර බටහිර දිශාභිමුඛව ගලන දිගිලි ගඟ නිල්වලා නදිය පෝෂණය කරන තවත් අතු ගංගාවකි. දෙදියගල වන රක්ෂිතය, ලබුවැල්හේන වන රක්ෂිතය ,ආශ්‍රිත කඳුකරයේ විහිදෙන දිය දහර ප්‍රයෝජනයට ගනිමින් විදුලි බලාගාර ඉදිකර ඇත. ප්‍රදේශයේ භූමි පාරිභෝග රටාව තුළ ප්‍රධාන වශයෙන් තේ වගාව වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇත. ඊට අමතරව කුරුඳු, රබර් සහ පොල් වගාවද සැලකිය යුතු ස්ථානයක් හිමිකරගෙන ඇත. වී වගාව යැපුම් මට්ටමේ පවතින අතර කෙසෙල්, කරාබුනැටි, ගම්මිරිස්, බුලත්, පුවක් යන අතුරු වගාවන්ද මෙම ප්‍රදේශයේ බහුලය. මලිදුව,කොහුගොඩ,වැලිකැටිය යන ප්‍රදේශ කෙසෙල් හා බුලත් වගාවට ප්‍රසිද්ධියක් උසුලන අතර දෙදියගල කිතුල් පැණි හා හකුරු වලට ප්‍රසිද්ධියක් උසුලයි.

දැක්ම

ජනතා අපේක්ෂාවන් ඉටුවන පරිදි බල ප්‍රදේශයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම

මෙහෙවර

බල ප්‍රදේශය තුළ ජනතා සුබ සිද්ධිය උදෙසා වූ සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය,ග්‍රාමීය හා නාගරික අවශ්‍යතාවයන් තුලිත හා තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ භෞතික හා සමාජීය පහසුකම් වැඩි දියුණු කිරීමෙන් අනාගත පරපුර උදෙසා වූ පරිසරයක් නිර්මාණය කිරීම

වර්ග කි.මී.149ක ප්‍රදේශයක පැතිර ඇති බල ප්‍රදේශයේ ව.කී.මී.108 ක් දේශීය කෘෂිකර්මය සඳහා යෝග්‍ය ලෙස සැලකිය හැකිය.සෙසු ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර, හිස්බිම්, ජල බිම් හා ගොඩනැඟිලි ආදියෙන් වැසී ඇත.

ප්‍රදේශයේ භූ විෂමතාවය කඳුගැට හා වැටිවලින් සෑදුණු සානුවක ස්වරූපය ගනී. මෙම සානු වැටිය උතුර හා බටහිර දෙසට ක්‍රමයෙන් උස් වේ. නිල්වලා ග‍‍‍ඟෙන් බටහිර කොටසේ මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උස් වූ අතර කොට්ඨාසයේ බටහිර සීමාව ආසන්නයේ හීන්දල්කට්ටු වැටිය උසම මුදුන අඩි 1300ක් දක්වයි. කඳු කොටසේ හුලංදාව ගඟ, දිගිළි ඇළ හා නිල්වලා ග‍ඟේ බටහිර ඉවුරේ අතු ගංගා ගලායන නිම්නවලින් වෙන්වී පවතී. මේවායින් සමහරක් විශේෂයෙන් දිගිළි ග‍ඟේ උතුරු කොටසේ දළ බෑවුම් සහිත ඉතා පටු නිම්නයන්ය. එහෙත් පහල කොටස් පළල් නිම්න බවට පත්ව ඇති අතර ඒවා වගා බිම් බවට පත්ව ඇත. කෙසේ වුවද තද බෑවුම් සහිත කඳු කොටස්හි පස සංරක්ෂණ වැඩ පිළිවෙලක් අවශ්‍යව ඇත.

නිල්වලා ග‍ඟෙන් නැගෙනහිර කඳු මුදුන් පහත් මට්ටමේ ඇති අතර සාමාන්‍යයෙන් උස අඩි 500 නොයික්මවා සිටී. එහෙත් ඊසාන දිග ඌරුමුත්ත වැටිය පමණක් අඩි 1415 උපරිම උස දක්වා උස්ව සිටී. මෙය බටහිර කොටස මෙන් දළ බෑවුම් නොවූවද පස සංරක්ෂණ කටයුතු ප්‍රයෝජනවත් වනු ඇත. කොට්ඨාසය දළ වශයෙන් 02 ට බෙදමින් උතුර දකුණ අතර ගලා යන නිල්වලා ගඟ දෙපස කොටස් පහත්ම ප්‍රදේශය වේ. නිල්වලා ග‍ඟේ අතු ගංගා වන නාගහදොළ ඇළ, හොරගොඩ නාපේ ඇළ එක්වන පහත් බිම් කොටස තලහගම්ආර හවුපේ නිම්නය ප්‍රධාන වගා බිම් ප්‍රදේශ වේ.

නිල්වලා ගඟ ප්‍රදේශයේ වැඩි කොටසක ගැඹුරු නිම්නයක් ලෙස ගලන නමුත් දකුණේ අතුරලිය හා පරදුව ප්‍රදේශයන් හිදී පිටාර ගැලීම් වලට භාජනය වේ. නිල්වලා ගඟ එහි බටහිර පස අතු ගංගා දිගිළි ඇළ හා හුලංදාව ගඟද කොට්ඨාසයේ ප්‍රධාන ජලවහන රටාව ලෙස සැළකේ.

කුඩා අතු ගංගා වන නාගහදොළ ඇළ හොරගොඩ නාපේ ඇළ මේ ජල වහන මණ්ඩලයට සම්බන්ධ වේ. එසේම නැගෙනහිර කොටසේ වැලිහේන හා ඔලියන්ගන් කැළේ රක්ෂිතය හා හාලි ඇළ වැව කිරඹ ආරෙන් ජල වහනය වේ. ඉහත සඳහන් ගංගා හැරුණු විට කොට්ඨාසයේ අභ්‍යන්තර ජලාශ කීපයතක්ම වේ. හාලි ඇළ වැවේ කොටසක් මෙම කොට්ඨාසයට අයත් වන අතර මාරඹ වැව, ඔළුවර වැව, ලේනබටුව වැව, අඹන්වල වැව, උඩලතනවල වැව කුඩා වැව් කීපයක් වේ. මේවායේ ප්‍රයෝජනවත් බව අඩු වුවද මිරිදිය මසුන් ඇති කිරීමටද කටයුතු කර ඇත.

මෙම ප්‍රදේශයේ තෙත් පහත් බිම් කලාපයට අයත් වර්ෂාපතන සහ උෂ්ණත්ව ලක්ෂණ සහිතය. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය දකුණෙහි මිලි මීටර් 2500(98.4) සිට වයඹ මිලි මීටර් 3500 (137.3) ඉක්මවා පවතී. හාලි ඇළ සාමාන්‍ය වර්ෂාපතනය පැතිරී ඇති ආකාරය දෙයාකාරයකට බෙදා දැක්විය හැක. වර්ෂාපතනයෙන් 30% පමණ අප්‍රේල්, ජුනි මාස වල ලැබෙන අතර කලින් කල ඊට වඩා දිගු නියඟද පවතිනු ඇත.මෙය වී වගාව සඳහා ජලසම්පාදනයට ආධාර කර ගත යුතුව තිබේ.

කොට්ඨාසයේ ප්‍රධාන පස් වර්ග 02 කි. උස් බිම් වල රතු – කහ පොඩ්සොලිඩ් වර්ගයේ ඇසිඩ් සහිත පාරගම්‍ය පාෂාණ වේ. මේවා ස්වාභාවික සාරවත් බවින් අඩු වුවද පොහොර භාවිතය අනුව පහසුවෙන් සාරවත් බවට පත්වේ. සමහර කඳුවල මේ පසෙහි කබොක් තට්ටුවක්ද සහිත වන අතර එය තෙතමනය රඳවා ගැනීමට හා මුල් වැඩීමට බාධක සහිතය. හෙල බෑවුම්වල අඩු ජලවහනය සහිත කොටස්හි වියළීම නිසා තද බවට පත්වන පාෂාණ වේ. මෙම රතු – කහ පොඩ්සොලීඩ් පස් ස්වාභාවික සාරවත් බවින් අඩු වුවද තේ, රබර් වැනි වගාවන් සඳහා භාවිත කල හැක. එහිදී පොහොර යෙදීම සහ පස සංරක්ෂණය වැදගත් වේ. පහත් නිම්න කොටස්හි පිටාර තැනිවල ජලවහන ක්‍රමය අනුව ද්‍රව්‍ය අඩංගු වී දියළු පස් නිර්මාණය වී ඇති අතර ඒවා වී වගාව සඳහා යෝග්‍ය වේ.අකුරැස්ස කොට්ඨාශයේ වන වැස්මෙන් යුක්ත වු සෑහෙන ප්‍රදේශයක් වේ. ප්‍රධාන රක්ෂිත වනාන්තර කිහිපයක් වන අතර විශාලතම රක්ෂිතය වන්නේ වයඹ දිග පිහිටි දෙදියගලය රක්ෂිත වනාන්තරයයි.